ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ශ්‍රී ලංකා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණීම සහ ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිතයි!
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ. ඊයේ (08) දින ආරම්භ වූ මෙම සංචාරය ලබන 10 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසු වීම විශේෂත්වයකි. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු උසස් නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
මේ අතර, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් ගිවිසුම් තුනකට අද (09) දිනයේදී අත්සන් තැබෙන බවයි.
පහත දැක්වෙනුයේ එම ගිවිසුම් තුන වේ:
- ශ්‍රී ලංකා සහ ඉන්දීය ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම: දෙරට අතර ශිෂ්‍යභටයන් අන්‍යෝන්‍ය වශයෙන් පුහුණු කිරීම් සහ ඒකාබද්ධ වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීම මෙහි අරමුණ වේ.
- ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධතා ගිවිසුම: ආයතන දෙක අතර අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන්, දැනුම බෙදාහදා ගැනීම් සහ උපදේශකයින් හුවමාරු කර ගැනීම සිදු කෙරේ.
- ගුවන් ආරක්ෂක අවි නඩත්තු කිරීමේ ගිවිසුම: 2000-2006 කාලය තුළ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්රදානය කරන ලද මිලිමීටර් 40L70 ගුවන් ආරක්ෂක අවි 24න් ඉතිරිව ඇති අවි 6 නොමිලයේම නඩත්තු කර දීම සඳහා මෙම ගිවිසුමට එළැඹේ.
අද පස්වරුවේ කොළඹදී ඉන්දියානු ප්‍රජාව මුණගැසුණු රාජ්නාත් සිං මහතා, අද (09) දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරිය හමුවීමට අමතරව ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජාවකට ද සම්බන්ධ වීමට නියමිතය. අනතුරුව හෙට (10) උදේ නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වෙත ද සංචාරය කිරීමට නියමිතව ඇත.
