ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැලිය!
වත්මන් ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්ති සහ ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සංවිධානය කළ දැවැන්ත විරෝධතා ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගණයේදී (සල්ගාදු ක්‍රීඩාංගණයේදී) ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්වුණු අතර, වත්මන් පාලනයේ ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනයට ලක් කරමින් විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයින් රැසක් මීට එක්ව සිටියහ.
මෙම ජන රැලිය සඳහා හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටියහ. මෙහිදී අදහස් දක්වමින් නායකයින් පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට පත්වූ පසු ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, රටේ ආර්ථිකය හා ගොවි ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්ය. එසේම, ආණ්ඩුවේ අසාර්ථක ප්‍රතිපත්ති පරාජය කිරීම සඳහා සියලු දෙනා එකතු වී සටන් වැදිය යුතු බවත්, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියටත් දැඩි ලෙස පෙනී සිටින බවත් ඔවුහු මෙහිදී අවධාරණය කළහ.
