“අද වන විට කිසිදු රටකට තනි ස්වාධීන ආර්ථිකයක් නැත” – කොළඹදී පැවති විද්වත් සාකච්ඡාවකදී පරිසර අමාත්‍යවරයා පවසයි!
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් සංවිධානය කරන ලද “ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග” පිළිබඳ විද්වත් සාකච්ඡාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පැවැත්විණි. මෙම සමුළුවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ අද වන විට ඉතිහාසයේ තිබූ ස්වාධීන ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත්, සෑම දෙයක්ම සැමෝම එකතුවී සිදුකළ යුතු යුගයකට ලෝකය පත්ව ඇති බවත්ය. තවදුරටත් එක රටකට තනි තනිව විසඳුම් සෙවිය නොහැකි බවත්, සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු වැනි ගෝලීය අභියෝග හමුවේ සාමූහික යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2024 වසරේදී රටේ යම් වෙනසක් සිදුවූ බවත්, එදින පැවති විදේශ විනිමය අර්බුදය ඇතුළු ගැටලු මේ වන විට බොහෝ දුරට අවසන් වී රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට හා අයවැය පරතරය අඩු කර ගැනීමට හැකි වී ඇති බවත් පෙන්වා දු맆යේය. එසේම, 2025 වසර යළි නඟාසිටින රටක් ලෙස වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසරක් ලෙස හැඳින්විය හැකි බව පැවසූ ඒ මහතා, ගෝලීය අභියෝගවලදී චීනය වැනි මිත්‍ර රටවල් සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව ඉතා වැදගත් වන බවද, චීන ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ නව තාක්ෂණය භාවිතය අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කදිම ආදර්ශයක් බවද වැඩිදුරටත් කියා සිටියේය.
මෙම විද්වත් සාකච්ඡාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, මැලේසියාවේ ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ආර්ථික පර්යේෂක ආචාර්ය අමාලි වෙදගේදර යන මහත්ම මහත්මීහුද එක්වූහ. එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපළ අවිනිශ්චිතතාව, මූල්‍ය අස්ථාවරත්වය, තාක්ෂණික පරතරය සහ පාරිසරික වෙනස්වීම් ලෙස ලෝකය ප්‍රධාන අභියෝග හතරකට මුහුණ දී සිටින බවයි. ආචාර්ය අමාලි වෙදගේදර මහත්මිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස බලවත් රටවල් සමඟ ඝට්ටනයක් ඇති කර නොගනිමින්, ජාත්‍යන්තර සබඳතා හා වෙළඳාම ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම අත්‍යවශ්‍ය වන බවයි.
