මහියංගනය වියානා ඇළ මත මෙගාවොට් 05ක සූර්ය බල නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය!

MediaFile_20260911_120819_863

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Canal-Top Solar’ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ශක්‍යතා අධ්‍යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන ලදී.

සාමාන්‍යයෙන් භූමිය මත සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වුවද, ඇළ මාර්ගයකට ඉහළින් සූර්ය පැනල සවිකිරීම මගින් අමතර භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ලෝකයේ රටවල් රැසක මෙම තාක්ෂණය සාර්ථකව භාවිත කරනු ලබන අතර, ශ්‍රී ලංකාවට එය නව අත්දැකීමක් වුවද අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මහියංගනය වියානා ඇළ සම්බන්ධයෙන් සිදුකළ මූලික අධ්‍යයනයෙන් පසු මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු සහ වසරේ වැඩි කාලයක් ප්‍රශස්ත සූර්යාලෝකයක් ලැබෙන වියානා ඇළ මෙම ව්‍යාපෘතිය සඳහා ඉතා යෝග්‍ය ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හඳුනාගැනීම්වලට අනුව, පළමු අදියර ලෙස මෙගාවොට් 05ක විදුලි ධාරිතාවක් ජනනය කිරීම සඳහා වියානා ඇළේ කිලෝමීටර් 05ක පමණ කොටසක් සූර්ය පැනල මගින් ආවරණය කිරීමට නියමිතය. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය තහවුරු කරගැනීමෙන් පසු, වියානා ඇළේ ඉතිරි කොටස් මෙන්ම දිවයිනේ අනෙකුත් සුදුසු ඇළ මාර්ග ද මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

You may have missed