ශ්‍රී ලංකාවේ නගර මිනිසුන්ට මෙන්ම සතුන්ටත් එකසේ ආරක්ෂිත සහ අයිතිය හිමි තැනක් විය යුතුයි – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය!

MediaFile_20260911_144305_445

කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිත අලංකාර කළ නොහැකි බවත්, නගරයක් යනු එහි ජීවත්වන මිනිසුන් මෙන්ම සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි නිදහස් ස්ථානයක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කර තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක “නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්” යටතේ ආරම්භ කෙරුණු “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නගර කිසිදු ක්‍රමවේදයකින් තොරව ඉතා අවිධිමත් ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, අද වන විට රටේ ජනගහනයෙන් 44.5%ක්ම එවැනි අවිධිමත් ස්ථානවල ජීවත් වන බවත්ය. නගර ලස්සන කිරීමේ මුවාවෙන් ඇතැම් පිරිස් කලින් නගරවලින් ඉවත් කළද, එහි අයහපත් ඵලවිපාක අදටත් විඳීමට සිදුව ඇති බව ඇය සඳහන් කළාය. නගරය යනු කොන්ක්‍රීට් වනාන්තරයක් නොවන බවත්, මිනිසුන් මෙන්ම සතුන් පවා නගරයේ කොටස්කරුවන් වන බැවින් ඒ සියලු දෙනාටම ආරක්ෂාව සහ නිදහස ඇති පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

කොළඹදී පැවති මෙම උත්සවයේදී අදාළ ව්‍යාපෘති සැලැස්ම විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී. මෙහිදී පළමු අදියර යටතේ සංවර්ධනය කිරීමට නියමිත මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දහයක පළාත් පාලන නියෝජිතයින් වෙත අදාළ ව්‍යාපෘති සැලසුම් නිල වශයෙන් භාර දෙනු ලැබීය.

You may have missed