ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගු කෙරේ, යළි සිරගත වීමේ අවදානමක්?
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිල වශයෙන් අවලංගු කර ඇත. ඒ අනුව උන්වහන්සේට එම සිරදඬුවමේ ඉතිරි කාලය වන වසර පහකුත් මාස තුනක කාලය යළි සිරගතව ගත කිරීමට සිදුවනු ඇති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී 2016 වසරේදී බිය ගැන්වීම සහ අධිකරණයේ කටයුතුවලට බාධා කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචనాධිකරණය විසින් 2018 අගෝස්තු 08 වන දින ඥානසාර හිමියන්ට වසර හයක සිර දඬුවමක් නියම කරන ලදී. උන්වහන්සේ ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම වසරේම ඔක්තෝබර් 05 වන දින ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත්, සිර දඬුවම් විදිමින් සිටියදී 2019 මැයි 23 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේ නිදහස් කර තිබිණි. ඒ යටතේ මාස නවයක පමණ කාලයක් පමණක් සිරගතව සිටි හෙයින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පොදු සමාව නීතියට පටහැනි සහ වැරදි යැයි තීන්දු කිරීමත් සමඟ දඬුවමේ ඉතිරි කාලය ගෙවීමට උන්වහන්සේට යළි බන්ධනාගාරගත වීමට සිදුවන බව මහාචාර්යවරයා සඳහන් කළේය.
