කෘතිම බුද්ධි සංවර්ධන තරඟය සහ ආරක්ෂක උත්සුකයන් සම්බන්ධයෙන් චීනයෙන් දැඩි ප්‍රතිචාරයක්!
කෘතිම බුද්ධි (AI) සංවර්ධනය සම්බන්ධයෙන් ‘අනිසි තරඟයක’ නිරත වන බවට සහ ගෝලීය ආරක්ෂාවට අභියෝගයක් වන බවට එල්ල වන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි (Dario Amodei) විසින් කෘතිම බුද්ධි සංවර්ධනය මන්දගාමී කළ යුතු බවට ඉදිරිපත් කළ ඉල්ලීමක් සහ ඒ හරහා චීනයට AI තරඟයෙන් ඉදිරියට යාමට ඇති අවස්ථා සීමා කළ යුතු බවට කළ ප්‍රකාශයක් මඟින් මෙම මතභේදය උත්සන්න වී ඇත.
ඇමරිකානු ප්රමුඛ පෙළේ කෘතිම බුද්ධි විද්‍යාගාර ප්‍රධානීන් සහ පර්යේෂකයන් විසින් AI තාක්ෂණය හේතුවෙන් මතු විය හැකි අවදානම් පිළිබඳව අනතුරු අඟවා ඇති පසුබිමක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ චීනයට වඩා වේගයෙන් තාක්ෂණය දියුණු කිරීම තමාගේ ප්‍රමුඛතාවය වන බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ, බිය වැද්දීම්, ගැටුම් සහ දුෂ්ට තරඟකාරීත්වයන් (Vicious competition) මඟින් ගෝලීය AI පාලන ක්‍රියාවලිය අඩාල වීම හැර වෙනත් යහපතක් සිදු නොවන බවයි. ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙක වන ඇමරිකාව සහ චීනය උසස් තාක්ෂණයෙන් වාසි අත්කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ, කෘතිම බුද්ධිය මේ වන විට අමෙරිකානු-චීන තාක්ෂණික එදිරිවාදිකම්වල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත.
