නව ඩිජිටල් රියදුරු බලපත්‍ර කොතරම් දුරට ආරක්ෂිතද?

digital-id2

නවසීලන්තයේ හඳුන්වා දීමට නියමිත නව ඩිජිටල් රියදුරු බලපත්‍රවල (digital driver’s licences) ආරක්ෂිත තාක්ෂණය හැකර්වරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා හමුදා මට්ටමේ (military grade) අතිශය ප්‍රබල මට්ටමක පවතින බව ඩිජිටල් අනන්‍යතා උපදේශක ක්‍රිස්ටෝෆර් ගෝ (Christopher Goh) පවසයි. පසුගිය මැයි මාසයේදී මේ සඳහා අවශ්‍ය නීති සම්මත වූ අතර, එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මහජන උපදෙස් ලබා ගැනීමේ කාලසීමාව පසුගිය මාසයේදී අවසන් විය. භෞතික රියදුරු බලපත්‍රයක මෙන්ම පුද්ගලයෙකුගේ අනන්‍යතාව සහ රිය පැදවීමේ සුදුසුකම තහවුරු කිරීමට මෙම ඩිජිටල් බලපත්‍රය සමත් වන අතර, ක්‍රෙඩිට් කාඩ්පත්වලට සමාන ආකාරයෙන් දත්ත වෙනම ස්ථානයක සුරක්ෂිතව සංකේතනය (encrypted) කර ඇත.

නැටෝ (NATO) සංවිධානය සහ අමෙරිකානු නිජබිම් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ගුප්ත ලේඛන තාක්ෂණය මෙහිදී භාවිත කර ඇති බව ගෝ පෙන්වා දෙයි. ස්මාර්ට් ජංගම දුරකථන නොමැති 20%ක් පමණ වන රියදුරන් සඳහා භෞතික කාඩ්පත්වල ස්මාර්ට් චිප් මඟින් පහසුකම් සලසා දී ඇති අතර, මුහුණේ පච්ච කොටා ඇති මාඕරි ජනතාවටද කිසිදු බාධාවකින් තොරව මෙම බලපත්‍රය ලබා ගැනීමට නීතිමය ඉඩකඩ සලසා ඇත. මීට අමතරව, සමාජයේ ආන්තික පන්තියේ ජීවත්වන අයට සහ නිවාස නොමැති අයටද මෙම ඩිජිටල් බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින අතර, වයස තහවුරු කිරීම සහ ඔන්ලයින් හරහා අනන්‍යතාව තහවුරු කර ගැනීමටද එය ප්‍රයෝජනවත් වනු ඇත.

You may have missed