කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගාවලිය ශ්‍රී ලංකාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එළඹෙන 13 වැනිදා ගාලු මුවදොරදී පැවැත්වේ!

MediaFile_20260908_160859_481

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව, කොළඹ මැරතන් (Colombo Marathon 2026) ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ශ්‍රී ලංකාවේදී, එළඹෙන 13 වැනිදා කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතව තිබේ. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මෙම තරගාවලිය සඳහා මේ වන විටත් විශාල ක්‍රීඩක පිරිසක් ලියාපදිංචි වී සිටිති.

මෙම ජාත්‍යන්තර තරගාවලියේ ප්‍රධාන තරග ඉසව් සඳහා පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, ඒ අතරට පූර්ණ මැරතන් (Full Marathon – 42KM) ඉසව්වට 405ක්, අර්ධ මැරතන් (Half Marathon – 21KM) ඉසව්වට 398ක් සහ කිලෝමීටර් 10 (10KM) ඉසව්වට 389ක් ඇතුළත් වේ. විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාර ක්‍රීඩකයන්ට අමතරව කෙන්යාව, ඉතියෝපියාව ඇතුළු විදේශ රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය ධාවකයන් 130කට වැඩි පිරිසක් මෙම තරගාවලියට එක්වීමයි. මීට අමතරව, කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run) සඳහා තරගකරුවන් 4,000කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත බැවින්, සමස්ත තරගකරුවන් සංඛ්‍යාව 5,000 ඉක්මවා යයි.

තරගාවලියේ ධාවන මාර්ග සැලසුම (Route Plan) පහත පරිදි සකස් කර ඇත:

  • පූර්ණ මැරතන් (42KM): ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය, මැරීන් ඩ්‍රයිව් (Marine Drive) ඔස්සේ දෙහිවල හන්දිය දක්වා ගොස් නැවත හැරී කොල්ලුපිටිය හන්දිය, පිත්තල හන්දිය, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොර වෙත පැමිණෙන වට 2කින් සමන්විත වේ.
  • අර්ධ මැරතන් (21KM): 42KM ධාවන මාර්ගයම අනුගමනය කරමින් 1 වටයකින් තරගය නිමවේ.
  • කිලෝමීටර් 10 (10KM): ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය, මැරීන් ඩ්‍රයිව් ඔස්සේ බම්බලපිටිය දක්වා ගොස් නැවත කොල්ලුපිටිය හන්දිය, පිත්තල හන්දිය, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොරට පැමිණේ.
  • කිලෝමීටර් 5 විනෝදාත්මක තරගය (5KM Fun Run): ගාලු මුවදොරින් ආරම්භ වී කොල්ලුපිටිය හන්දිය ලිබර්ටි සිනමා හල අසලින් හැරී අරලියගහ මන්දිරය මැද පාර, පේරහැර මාවත, ගුවන් පාලම මතින් බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු මුවදොරින් නිමාවේ.

You may have missed