එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාව පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය ප්‍රකාශ කරයි!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාරම්භක සභාවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නවතම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගන්නා බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. යුද සමයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමේ ක්‍රියාවලිය පමාවීම, හමුදාව සතුව පවතින ඉඩම් තවදුරටත් නිදහස් නොකිරීම සහ අතුරුදහන් වූවන්ගේ ගැටලුවලට මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති වීම පිළිබඳව මහකොමසාරිස්වරයා සිය වාර්තාවෙන් කනගාටුව පළ කර තිබීම තම පක්ෂය සම්පූර්ණයෙන්ම අනුමත කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම, දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතියක් නොමැති වීම පිළිබඳවද මහකොමසාරිස්වරයාගේ අවධානය යොමුවීම අතිශයින් වැදගත් බව ITAK පක්ෂය පෙන්වා දී ඇත. මීට අමතරව, මෙරට තුළ ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පළාත් සභා මැතිවරණය දිර්ඝ කාලයකින් පවත්වා නොමැති බවට එම වාර්තාවේ සඳහන් කරුණු ද තම පක්ෂයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
