ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වීම නිසා නොමිලේ එන්නත් ලබාගැනීමේ හැකියාවට බලපෑම්!

images

ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කිරීම හේතුවෙන්, මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති වීමේ අවදානමක් මතු වී තිබේ. මෙම නව වර්ගීකරණය නිසා ශ්‍රී ලංකාවට තවදුරටත් “ගැවි” (GAVI) එන්නත් සන්ධානයේ මූල්‍ය හා ආධාරක සහාය ලබා ගැනීමට සුදුසුකම් නොලැබී යන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

“ගැවි” යනු අඩු ආදායම් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීම සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයකි. මෙම තත්ත්වය හමුවේ ලබන වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහනට වැයවන පිරිවැයෙන් කොටසක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවන අතර, 2028 වසර වන විට සම්පූර්ණ පිරිවැයම රට විසින්ම දැරීමට සිදුවනු ඇත. මීට පෙර හෙපටයිටිස් බී, පෙන්ටාවැලන්ට්, පෝලියෝ සහ එච්.පී.වී. (HPV) වැනි අත්‍යවශ්‍ය එන්නත් හඳුන්වා දීමේදී ගැවි සන්ධානයෙන් රටට දැවැන්ත සහයෝගයක් ලැබී තිබුණි.

You may have missed