ශ්‍රී ලංකාව සහ රුසියාව මෙන්ම බ්‍රිතාන්‍යය අතර සෘජු ගුවන් ගමන් වාර රැසක් ළඟදීම යළි ආරම්භ කෙරේ!

1200-630-Gatwick-Airport-1024x538

කොළඹ, ශ්‍රී ලංකාව —

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මෙන්ම බ්‍රිතාන්‍යය අතරද නව සෘජු ගුවන් ගමන් වාර රැසක් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රධානීන් පියවර ගනිමින් සිටී. ඒ අනුව, රුසියාවේ ප්‍රධාන පෙළේ ගුවන් සේවයක් වන අසූර් එයාර් (Azur Air) ගුවන් සේවය මඟින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා එළැඹෙන නොවැම්බර් මාසයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත. රුසියාවේ ගුවන්තොටුපළ පහක සිට සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව බලා මෙහෙයවීමට නියමිත අතර, අසූර් එයාර් සේවයට අමතරව එරෝෆ්ලොට් (Aeroflot) සහ එස් සෙවන් (S7) ගුවන් සේවා ද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබීම මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන විශාල දිරිගැන්වීමකි.

මීට අමතරව, වසර එකොළහක දිගු කාලයකට පසුව බ්‍රිතාන්‍යයේ ප්‍රකට බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways) ගුවන් සේවයද ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර සෘජු ගුවන් ගමන් ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් වේ. ඒ අනුව, එළැඹෙන ඔක්තෝබර් 23 වන දින සිට බ්‍රිතාන්‍යයේ ගැට්වික් (Gatwick) ගුවන්තොටුපළ සහ කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර මෙම සෘජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයකින් මෙලෙස මෙරටට සෘජු ගුවන් ගමන් ආරම්භ වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති අතර, එය මෙරට ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් සංධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may have missed