චීන සහ රුසියානු ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් බිෂ්කෙක් නුවරදී පැවැත්වේ!
බිෂ්කෙක්, කියුගිස්තානය —
චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යන මහත්වරුන් අතර විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ. 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා දෙරටේ නායකයින් කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අවස්ථාවක මෙම උසස් මට්ටමේ හමුව සිදුවී ඇත.
ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ ගෝලීය තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා
මෙම හමුවේදී අදහස් දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ, ඉකුත් මැයි මස රුසියානු ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරය ඉතා සාර්ථක වූ බවත්, එහිදී එළඹුණු එකඟතාවන්ට අනුව විවිධ ක්ෂේත්‍රවල දෙරටේ සහයෝගිතාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත්ය. ඉදිරියේදීත් පොදු උත්සාහය යටතේ චීන-රුසියානු සබඳතා වඩාත් ශක්තිමත් හා ස්ථාවර අයුරින් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය. වර්තමාන ලෝකය සංකීර්ණ විපර්යාසයන්ට ලක්වෙමින් පැවතුනද, සාමය, සංවර්ධනය සහ සහයෝගිතාව පිළිබඳ ලෝකවාසීන්ගේ අභිලාෂය වෙනස් වී නොමැති බව අවධාරණය කළ චීන නායකයා, ගෝලීය කළමනාකරණය ඉදිරියට ගෙනයාම සඳහා රුසියාව ඇතුළු ශැංහයි සංවිධානයේ සාමාජිකයින් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කළේ, සංකීර්ණ හා වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර පසුබිමක වුවද රුසියාව සහ චීනය තම පූර්ණ උපායමාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට කදිම ආදර්ශයක් වී ඇති බවයි. වෙළඳාම, බලශක්තිය, කර්මාන්ත, ප්‍රවාහනය සහ විද්‍යා තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රාශියක සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම කියා සිටියේය. ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය සමඟ පවතින සම්බන්ධීකරණය තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බවද පුටින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. නායක දෙපළ මෙහිදී කලාපීය සහ ජාත්‍යන්තර වැදගත්කම් සහිත අනෙකුත් කරුණු සම්බන්ධයෙන්ද පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත.
