ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ජෙට්ස්ටාර් (Jetstar) අඩු වියදම් ගුවන් සේවය ආරම්භ කෙරේ!

image_7c7e6973b7

කොළඹ, ශ්‍රී ලංකා —

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු මිළ (Low Fares) ගුවන් සේවාවක් එරට ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සේවා සමාගම විසින් ආරම්භ කර තිබේ. එහි ප්‍රථම මංගල ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

මංගල ගුවන් ගමන සහ ජල ආචාර පිළිගැනීම

මෙම ගුවන් ගමන සඳහා බෝයිං-787 ඩ්‍රීම්ලයිනර් (Boeing 787 Dreamliner) වර්ගයේ අතිනූතන ගුවන් යානයක් යොදවා තිබූ අතර, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එම ගුවන් යානයට ජල ආචාර (Water Salute) පවත්වමින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ජෙට්ස්ටාර් ගුවන් සේවයට අයත් JQ-005 දරන මෙම මංගල ගුවන් යානයේ ගුවන් මගීන් 271 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු ගමන් කර තිබේ.

ගුවන් ගමන් කාලසටහන සහ විශේෂ නිලධාරීන්ගේ සහභාගීත්වය

මෙම නව ගුවන් සේවය සෑම සතියකම දින 3ක් එනම්, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ශ්‍රී ලංකාවේ කටුනායක සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අතර සෘජුව ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙම ගුවන් ගමන සඳහා පැය 10ක පමණ කාලයක් ගතවේ.

මෙම ගුවන් යානය සහ මගීන් පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ “සිල්ක් රූට්” (Silk Route) මගී පර්යන්තයේදී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු රාජ්‍ය හා ගුවන් ක්ෂේත්‍රයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

You may have missed