ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති සහ පුනර්ජනනීය විදුලි ඒකකයක මිල ගණන් මහජන උපයෝගිතා කොමිසමෙන් නම් කරයි!
කොළඹ, ශ්‍රී ලංකා —
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා වන නව ‘පෝෂක අයක්‍රමය’ (Feed-in Tariff) නිල වශයෙන් හඳුන්වා දෙමින්, විදුලි ඒකකයක් සඳහා වන නව මිල ගණන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නව මිල ගණන් නිවේදනය කරන ලදී.
පෝෂක අයක්‍රමයේ ප්‍රධාන කාණ්ඩ සහ මිල ගණන්
මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ (අයක්‍රම) අසංක කඹුරුගමුව මහතා සඳහන් කළේ මෙම ‘පෝෂක අයක්‍රමය’ පුනර්ජනනීය විදුලි බලාගාර, විදුලි නිෂ්පාදකයන් සහ බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර යන ප්‍රධාන කොටස් යටතේ වර්ග කර ඇති බවයි. ඒ අනුව විදුලි ඒකකයක් (කිලෝවොට් පැයක්) සඳහා ගෙවන මුදල පහත පරිදි වේ:
- බැටරි ගබඩා පද්ධති සහිත පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර:
- රාත්‍රී කාලයේදී (පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා ඉල්ලුම ඉහළම කාලය තුළ) එක් ඒකකයක් රුපියල් 57.64 කි.
- දහවල් කාලයේදී එක් ඒකකයක් රුපියල් 27.50 කි.
- නාගරික ඝන අපද්‍රව්‍ය මඟින් නිපදවන විදුලි ඒකකයක්: රුපියල් 56.55 කි.
- ජෛව ස්කන්ධ (ඩෙන්ඩ්‍රො ක්‍රමය) මඟින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්: රුපියල් 51.52 කි.
- ජෛව ස්කන්ධ (කෘෂි හෝ කර්මාන්ත අපද්‍රව්‍ය) යොදාගනිමින් නිපදවන විදුලි ඒකකයක්: රුපියල් 35.48 කි.
- කුඩා ජලවිදුලි බලාගාරයක විදුලි ඒකකයක්: රුපියල් 34.87 කි.
- පාවෙන සූර්ය බලාගාරවලින් (සාමාන්‍ය) විදුලි ඒකකයක්: රුපියල් 27.50 කි.
- සුළං බලාගාරයක විදුලි ඒකකයක්: රුපියල් 25.73 කි.
- භූමිය මත සවිකරන සූර්ය බලාගාරවලින් විදුලි ඒකකයක්: රුපියල් 20.72 කි.
- අපද්‍රව්‍ය තාපය මත පදනම්ව නිපදවන විදුලි ඒකකයක්: රුපියල් 17.68 කි.
