දේශගුණික විපර්යාස නඩු තීන්දුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් – Z Energy ප්‍රධාන විධායක නිලධාරී පවසයි
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මයික් ස්මිත් විසින් ගොනු කර ඇති නඩුව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව Z Energy සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලින්ඩිස් ජෝන්ස් මහතා පවසයි.
නිව්සීලන්තයේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවෙන්, එම සමාගම්වල විමෝචනය වහාම නතර කිරීමට නියෝග කළහොත්, ඉදිරි වසර පහ තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) බිලියන 21.9කින් හෝ 0.9%කින් පහළ වැටිය හැකි බව ස්වාධීන ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය නිවෙන් වින්චෙස්ටර් විසින් සිදු කළ නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. Z Energy, Fonterra සහ Genesis Energy යන සමාගම් විසින් මෙම වාර්තාව කොමිෂන් කරන ලදී.
මේ අතර, නීති වෙනස් කිරීම සඳහා රජයට ලබා දුන් බව කියන රහසිගත බ්‍රීෆින් සටහනක් (Briefing note) සම්බන්ධයෙන් ජෝන්ස් මහතා RNZ වෙත අදහස් දක්වමින් පැවසුවේ, තමන් රජයේ උපදෙස් මත එම ලිපිය ලබා දුන් බවයි. එම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති සැකය “අවාසනාවන්ත” එකක් බවත්, තමන් මීට පෙර ප්‍රසිද්ධියේ හෝ අධිකරණය හමුවේ ප්‍රකාශ නොකළ කිසිවක් එහි ඇතුළත් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම නඩුව හරහා විමෝචනය අඩු කිරීම අධිකරණය හරහා සිදු වුවහොත්, එය අත්තනෝමතික සහ අසමාන ආර්ථික බලපෑම් ඇති කරන ක්‍රියාවලියක් බවත්, රජය සතු දත්ත මගින් මෙම තීරණ ගැනීම වඩාත් සුදුසු බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළව සමාගම් විසින් රජයට ලබා දුන් ලේඛන සම්බන්ධයෙන් මයික් ස්මිත් මහතා පවසන්නේ, මෙය රජය සහ මහා පරිමාණ සමාගම් එක්ව සිදු කළ රහසිගත බලපෑම් කිරීමක් බවයි. දැනට පවතින නීති අනුව, හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සමාගම්වලට නඩු පැවරීම වැළැක්වීමට රජය නීති සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කරයි.
