18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවට පැමිණෙයි!
18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ. නවදිල්ලි නුවරදී පැවැත්වෙන මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, දෙරට අතර පවතින උපායමාර්ගික, ආර්ථික, බලශක්ති, වෙළෙඳ සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං, දකුණු අප්‍රිකානු ජනාධිපති, මැලේසියානු අගමැති, ඊජිප්තු ජනාධිපති, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, ඉන්දුනීසියානු ජනාධිපති, අබුඩාබි ඔටුන්න හිමි කුමරු, ඉතියෝපියානු අගමැති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් එක්ව සිටිති. මෙහිදී ගෝලීය වෙළෙඳාම, බලශක්ති සහයෝගීතාව, ආහාර සුරක්ෂිතතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාමාජික රටවල නියෝජිතයින් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල සහභාගීත්වයෙන් ආරම්භ වූ බ්‍රික්ස් සංවිධානය 2024 වසරේදී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ පසුගිය වසරේදී ඉන්දුනීසියාව එක්වීමත් සමඟ තවදුරටත් පුළුල් විය.
