රටේ ඉපදුණු සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුම කර දීම රජයේ වගකීමයි – ජනාධිපති අනුර කුමාර දිසානායක!

image_5353d93992

පුනාගල, ශ්‍රී ලංකා —

රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී මහපොළවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුම කර දීමේ වගකීම රජය විසින් සම්පූර්ණයෙන්ම භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

2023 වසරේ සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර හා අනාරක්ෂිත තත්ත්වයක් යටතේ ජීවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයා ගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ප්‍රධාන විශේෂාංග

  • මලයගම් ජනතාවට පූර්ණ අයිතිය: මලයගම් ජනතාව යනු අපේම සහෝදර ජනතාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියවස් ගණනාවක් ඔවුන් ගතකළ දුෂ්කර ජීවිතය ඔවුන්ගේ දරුවන්ටද හිමිකර දීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බවත්, ඔවුන්ට මේ රටේ පූර්ණ අයිතිය සහ අභිමානවත් ජීවිතයක් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
  • ශ්‍රී ලංකාවට යළි පැමිණීමේ බාධා ඉවත් කිරීම: පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බව ජනාධිපතිවරයා පැවසීය.
  • මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය: අපේ රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, ඊට අදාළ සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය ඒකාබද්ධ කරමින් සියලු බලය සහිත ‘මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය’ පිහිටුවීමේ පනත මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන එන බව හෙළි කළේය.
  • නිවාස ව්‍යාපෘතියේ තොරතුරු: පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිදන කාමර දෙකකින්, ශාලාවකින්, මුළුතැන්ගෙයකින් සහ නාන කාමරයකින් සමන්විත නිවාස 50ක් මෙහිදී පිරිනමන ලදී. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, පදිංචි වන සෑම පවුලකටම රුපියල් 175,000ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ හා අත්‍යවශ්‍ය උපකරණද ලබා දී ඇත.
  • යුද හමුදා දායකත්වය: මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය දැක්වූ සක්‍රීය සහ ප්‍රශංසනීය දායකත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගැයීමට ලක් විය.

You may have missed