භෞත චිකිත්සකවරියගේ ඝාතනයට ආධාර අනුබල දුන් කුණ්ඩසාලේ පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව
2026 ජූනි 27 (නුවරඑළිය, ශ්‍රී ලංකාව) — අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක වූ ශම්‍යා දර්ශනී මහත්මියගේ ඝාතනයට අදාළ සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූලි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ප්‍රධාන සැකකරු විසින් සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් කරුණු දැන දැනම, එම නිලධාරියා ඔහුට නීතිඥ සහාය ලබා දීමට පොරොන්දු වෙමින් සැඟව සිටීමට උපදෙස් ලබා දී ඇති බවයි.
පොලිස් නිලධාරියා එම සැකකරුගෙන් මුදල් ලබාගෙන මත්පැන් සහ ආහාරපාන මිලදී ගෙන ඇති බවත්, මරණ පරීක්ෂණ වාර්තාව දිවි නසාගැනීමක් ලෙස සටහන් වන තෙක් බිය නොවී සිටින ලෙස සැකකරුට පවසා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකරු විසින් පවසන පරිදි ඇය ජනෙල් රෙදි එල්ලන යෂ්ටියක එල්ලී දිවි නසාගෙන ඇති බව ප්‍රකාශ කළද, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ මරණය ගෙල සිර කිරීමකින් සිදුවූ බවයි. එම යෂ්ටිය මිනිසෙකුගේ බර දරාගත නොහැකි දුර්වල එකක් බව පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ බිරිඳ ද බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, ඔවුන්ගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
