ආබාධිත සහන සේවා පනත් කෙටුම්පතට (Disability Support Services Bill) රජයෙන් ප්‍රධාන වෙනස්කම් රැසක්!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
වෙලින්ටන්, නිව්සීලන්තය — 2026 අගෝස්තු 13 —
ආබාධිත ප්‍රජාව අතර දැඩි කතාබහට හා විරෝධයට ලක් වූ නව ආබාධිත සහන සේවා පනත් කෙටුම්පතට (Disability Support Services Bill) අදාළව වැදගත් සංශෝධන රැසක් සිදු කර ඇති බව ආබාධිත කටයුතු අමාත්‍ය ලුමීස් අප්ස්ටන් (Louise Upston) නිවේදනය කර තිබේ.
මහජනතාවගෙන් සහ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ලිඛිත ඉල්ලීම් සහ අදහස් 3,000කට අධික සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින්, සමාජ සේවා සහ ප්‍රජා තේරීම් කමිටු වාර්තාව (Social Services and Community Select Committee’s report) මගින් මෙම සංශෝධන යෝජනා කර ඇත.
පනත් කෙටුම්පතට ගෙන ආ ප්‍රධාන වෙනස්කම් සහ සංශෝධන
- පවුල් සඳහා අමතර වගකීම් පැවරෙන්නේ නැත: පවුල්වල සාමාජිකයින්ට අමතර බරක් හෝ අපේක්ෂාවන් පැවරෙන්නේ නැති බවට නීතිය මගින් පැහැදිලිව සඳහන් කර ඇත.
- වත්මන් ප්‍රතිපත්තිවල වෙනසක් නොමැත: මෙම පනත මගින් දැනට පවතින සුදුසුකම්, හිමිකම් හෝ සහන ක්‍රම වෙනස් නොවන බවත්, අදාළ නොවන අවස්ථාවන්හිදී ආදායම් හෝ වත්කම් පරීක්ෂා කිරීම් (income or asset testing) හඳුන්වා නොදෙන බවත් අමාත්‍යවරිය යළිත් අවධාරණය කළාය.
- විධිමත් උපදේශන ක්‍රියාවලියක්: අනාගත සහන වැඩසටහන් සකස් කිරීමේදී ආබාධිත පුද්ගලයින් නියෝජනය කරන සංවිධාන හරහා විධිමත් ලෙස සාකච්ඡා කිරීම අනිවාර්ය කර ඇත.
- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම: එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (UN Convention on the Rights of Persons with Disabilities) භාෂාව සහ තේරීම්, ආරක්ෂාව, ගෞරවය වැනි මූලධර්ම මෙයට ඇතුළත් කර තිබේ.
රජයේ ස්ථාවරය සහ ප්‍රතිපාදන
පනත් කෙටුම්පතේ මුල් අරමුණ ජනතාවට නිවැරදිව අවබෝධ නොවූ බව පිළිගත් අමාත්‍යවරිය, තේරීම් කමිටුවේ නිර්දේශ සමඟ තමා එකඟ වන බව ප්‍රකාශ කළාය. මෙම පනත හරහා රට පුරා එකම ක්‍රමවේදයකට යටත්ව තක්සේරු කිරීම් සිදු කිරීම, සේවාවන් ස්ථාවර කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
මීට අමතරව, අඛණ්ඩ අයවැය හරහා ඩොලර් බිලියන 2.1ක අමතර අරමුදල් ආබාධිත සහන සේවා (DSS) සඳහා වෙන් කර ඇති බවත්, ඉදිරියේදී භාරකරුවන් (carers) සඳහා වන විශේෂ පැකේජයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
දැනට මෙම සේවාවන් මගින් ප්‍රජාව සහ නේවාසික සත්කාර තුළ සිටින ආබාධිත පුද්ගලයින් 55,000කට වැඩි පිරිසකට සහ ස්වාධීනව ජීවත් වීම සඳහා නිෂ්පාදන ලබා ගන්නා 100,000කට ආසන්න පිරිසකට සහය ලැබෙමින් පවතී.
