ශ්‍රී ලංකාවේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන වෙන් කෙරේ!
ශ්‍රී ලංකාව තුළ කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට පමණක් සීමා නොවූ, ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි ජනතා කේන්ද්‍රීය සහ තිරසාර නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක “නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්” යටතේ ඇරඹි “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. කොළඹදී පැවති මෙම සමාරම්භක අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද සහභාගී වී සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 65ක දැවැන්ත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි. ඇතැම් නගරවල සැබෑ ආත්මය පාසල හෝ වෙනත් විශේෂ ස්ථානයක් විය හැකි බැවින්, නාගරික සංවර්ධනය ඉතා නිවැරදි අවබෝධයකින් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මුලින් නගර 10ක් තෝරාගෙන ඇති බවත්, නගරයක් යනු හුදෙක් ගොඩනැගිලි රාශියක් පමණක් නොවන යන සාරය මත පිහිටා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් හෙතෙම අවධාරණය කළේය. එළඹෙන දිනවල සිටම අදාළ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙසත්, නගරාධිපතිවරුන් පෙන්වන ප්‍රගතිය මත පදනම්ව ඉදිරි වැඩකටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
