“ශ්‍රී ලංකාවේ ජනපති වෙනස් වුණත් ආණ්ඩුව වෙනස් වන්නේ නෑ” – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

image_ebd8d8de7b

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

කොළඹ, ශ්‍රී ලංකා — 2026 අගෝස්තු 15 —

වත්මන් ආණ්ඩුව දිගටම රට කරවනු ඇති බවත්, ජනාධිපතිවරයා වෙනස් වුවද ආණ්ඩුව වෙනස් නොවනු ඇති බවත් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවරදී අවධාරණය කළේය. ගන්නෝරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට තමන් කිසිදු දිනයක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත්, රටට සේවය කිරීමට පාර්ලිමේන්තුවට යාම අත්‍යවශ්‍ය නොවන බවත්ය. තමන් මහනුවරින් ඡන්දයට ඉදිරිපත් වූයේ ජනාධිපතිවරයා ඒ සඳහා බලකර සිටි නිසා බවද හෙතෙම සඳහන් කළේය. පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා කිසි දිනක ඡන්දය ඉල්ලා නොමැති වුවද ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තමන් කිසිදු දිනයක පක්ෂය අතහැර නොයන බවත්, පක්ෂය කඩාගෙන කිහිප දෙනෙක් ගියද පක්ෂය හැළීමටවත් ඔවුන්ට හැකි වූයේ නැති බවත් පැවසීය.

විදේශිකයන්ට අපට බලපෑම් කරන්න බෑ – අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට විදෙස් රටවලින් ආණ්ඩුවට බලපෑම් කිරීමට අයිතියක් නැති බවත්, මෙය ස්වාධීන රටක් වන බැවින් ඔවුන්ට ඒ ගැන අදහස් දැක්විය හැකි වුවද බලපෑම් කළ නොහැකි බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය: යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ කිසිදු විරෝධතාවයක් නැති බවත්, එය ජනතාව ලබා දුන් ජනවරමට අදාළ කාරණයක් වන බැවින් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කියා සිටියේය. මෙයට විරෝධය දක්වන්නේ නීතිඥ ප්‍රජාව සහ එක්තරා පිරිසක් පමණක් බවද ඔහු සඳහන් කළේය.
  • පළාත් සභා මැතිවරණය: පළාත් සභා කොට්ඨාශ සීමා නීර්ණ ගැටළුව විසඳුණු වහාම ඡන්දය පවත්වන බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ගැටළුවක් නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

You may have missed