ශ්රී ලංකාවේ 12 වැනිදා අනුරාධපුරයේ රැලිය නවත්වන්නේ නැති බවට පොහොට්ටුවෙන් නිවේදනයක්!
කොළඹ, ශ්රී ලංකාව —
රැඳවුම් භාරයට පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නගා ඇති සියලුම චෝදනා පදනම් විරහිත සහ දේශපාලනික අරමුණු මත සිදුකළ ඒවා බව පවසමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ දැඩි නිවේදනයක් නිකුත් කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රටේ දූෂණය මැඩලීම සඳහා පිහිටුවන ලද්දක් වුවද, එය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීම ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් බව පක්ෂය පෙන්වා දෙයි. වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපය හේතුවෙන් පීඩාවට පත් ජනතාව එකතු කරමින් එළඹෙන 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත දැවැන්ත ජන රැලිය වැළැක්වීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවට ඔවුන් සැක පළ කරති. කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කළද, සැලසුම් කළ පරිදිම අනුරාධපුරයේ ජන රැලිය ඉතා සාර්ථකව පවත්වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

