ශ්‍රී ලංකාව 2027 අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වී මීට වඩා සහන දෙන බවට ටී. බී. සරත් ප්‍රකාශ කරයි!
කොළඹ, ශ්‍රී ලංකාව —
ඉදිරි 2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කර තිබේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රජය ගෙන යන වැඩපිළිවෙළ පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට පියවර ගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මීට පෙර රුපියල් 17,000ක් ලෙස පැවති රාජ්‍ය සේවයේ අවම වැටුප ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන පරිදි සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන බව සඳහන් කළේය. අදියර කිහිපයක් යටතේ අයවැය හරහා මෙම වැටුප් වැඩිවීම් සිදු කෙරෙන අතර, එළඹෙන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මඟින්ද තවත් රුපියල් දසදහසකට ආසන්න මුදලකින් වැටුප් ඉහළ යනු ඇත. රටේ ආර්ථිකයට දරාගත හැකි උපරිම මට්ටමින් මෙම වැටුප් සංශෝධන සිදු කර ඇති බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් මිදී මෙරට ජනතාවට මීට වඩා වැඩි සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
