රී ලංකාවේ මහජන ආරක්ෂාව සහ පොලිස් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුවෙයි!
කොළඹ, ශ්‍රී ලංකාව —
ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ අවධානය යොමුව තිබේ. කාරක සභාවේ සභාපති, අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී මෙම වැදගත් රැස්වීම පවත්වන ලදී.
මෙම රැස්වීමේදී විශේෂයෙන්ම සයිබර් අපරාධ, නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ මූල්‍ය වංචා මැඩලීම සඳහා පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. නීතිවිරෝධී සූදු සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට මේ වන විටත් සාර්ථක පියවර ගෙන ඇති බව රැස්වීමට එක්වූ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
සයිබර් අපරාධ මැඩලීමට තාක්ෂණික විශේෂඥයන් බඳවා ගැනීම සහ නවීන ක්‍රමවේද
රැස්වීමේදී අනාවරණය වූයේ මෙරට රැඳී සිටිමින් සයිබර් අපරාධවල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගෙන ඇති බවයි. අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සමීපව සම්බන්ධීකරණය වෙමින් එම පුද්ගලයන් මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු යොදා ඇත. සයිබර් අපරාධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම ලබාදීම පිණිස මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් අලුතින් බඳවා ගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ක්ෂේත්‍ර ප්‍රායෝගික පුහුණුව මෙන්ම විදේශීය පුහුණුවීම් ලබාදීමටද පියවර ගෙන තිබේ.
මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ විමර්ශන කඩිනම් කිරීම සඳහා කාලීන මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමටත්, ක්‍රිප්ටෝ මුදල් භාවිතයෙන් සිදුවන අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා මඟහරවා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව නිලධාරීහු සඳහන් කළහ. මීට අමතරව, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන සංවේදී තොරතුරු බාහිරට යාම වැළැක්වීමේ වැදගත්කම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි. නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට පොලිස් විමර්ශන කඩිනම් කිරීමේ වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.
