ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ඔක්තෝබර් 09 දින සලකා බලයි!
ග්‍රීක බැඳුම්කරවල රුපියල් බිලියන 1.8ක මුදලක් ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකා රජයට පාඩු කිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සම ඔක්තෝබර් මස 09 වන දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා සඳහන් කළේ අදාළ නොතිසිය ඊයේ දිනයේදී ලැබුණු බැවින් ඒ සම්බන්ධ කරුණු අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි. ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ඔක්තෝබර් 09 වන දින යළි කැඳවන ලෙස නියෝග කළේය.
ග්‍රීක බැඳුම්කර ආයෝජනයෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව මුලින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා පසුව එම අධිචෝදනා පත්‍රය ඉවත් කර ගනිමින් දූෂණ විරෝධී පනතේ වෙනත් විධිවිධාන යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ යළි නඩු පැවරීම නීතියට පටහැණි බව අජිත් නිවාඞ් කබ්රාල් මහතා සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළද එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් තමන් මෙම අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ බව හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
