මලෛයිගම් ජනතාවට වසර 200කට පසු ඔප්පුවක් සහිත ස්ථිර ලිපිනයක් හිමිකර දීමට රජයෙන් පියවර!
කොළඹ, ශ්‍රී ලංකාව —
මලෛයිගම් ජනතාව මෙරටට පැමිණ වසර 200කට පසු පළමු වරට ඔප්පුවක් සහිත තමන්ගේම නිවසක් සහ ස්ථිර ලිපිනයක් ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
2017 වසරේ සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් පාලින්දනුවර, පැළෑද බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 17ක් ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ආපදා ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ නිවාස ව්‍යාපෘති
මෙම නව නිවාස ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම්ද සහිතව එක් නිවසක් රුපියල් ලක්ෂ 34ක් බැගින් නිවාස 17ක් ඉදිකිරීමට නියමිතය. එයින් නිවාස 12ක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ද, ඉතිරි නිවාස 5 ඉන්දියානු නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් ද ඉදිකෙරේ. වසර 9ක් පුරා අධිඅවදානම් තත්ත්වයන්ට මුහුණ දෙමින් පීඩාවට පත්ව සිටි ජනතාවට ස්ථිර නිවාස ලබාදීම සඳහා මෙම අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව කටයුතු කරයි.
මීට අමතරව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනේ 2026 වසරේ දෙවන අදියර යටතේ පාලින්දනුවර ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 16 දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වූ නිවාස ආධාර චෙක්පත්ද මෙහිදී ප්‍රදානය කරන ලදී. මලෙයිගම් ජනතාවට අනන්‍යතාවක් සහ ස්ථිර ලිපිනයක් ලබාදීමට හැකිවී ඇත්තේ වත්මන් රජය යටතේ පමණක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය ඉතිහාසයේ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට නියමිත බවද සඳහන් කළේය.
