සාරානාත් ඓතිහාසික බෞද්ධ පුදබිම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරේ: ඉන්දියාවේ 45 වැනි ලෝක උරුමයයි!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
වෙලින්ටන්, නවසීලන්තය — 2026 අගෝස්තු 01 — ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බරණැස අසල පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන සාරානාත් ස්මාරකය, නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙය මෙම ගෞරවනීය ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ 45 වැනි ස්මාරකය වීම විශේෂත්වයකි.
අප තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කොට පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව එනම් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ මෙම පූජනීය සාරානාත් පුදබිමේදීය.
සාරානාත් පුදබිමේ ඓතිහාසික හා ආගමික වැදගත්කම
- ප්‍රධාන ස්මාරක: බුදුන් වහන්සේ ප්‍රථම දම්සක් දෙසුම පූජා කළ ස්ථානය සනිටුහන් කරන ධමේඛ (ධම්මික) ස්ථූපය, මුලගන්ධකුටි විහාරය සහ චෞඛණ්ඩි ස්ථූපය මෙහි ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථාන වේ.
- අශෝක සිංහ ස්තම්භය: ක්‍රිස්තු පූර්ව 273ත් 232ත් අතර කාලයේදී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද සිංහ ස්තම්භය මෙහි ඇති අතර, එහි ඇති සිංහ මූර්තිය වර්තමානයේ ඉන්දියාවේ ජාතික ලාංඡනය ලෙස භාවිත කෙරේ.
- ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර: ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් (සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්) 1931 වසරේදී සාරනාත් පුදබිමේ මූලගන්ධකුටි විහාරය ඉදිකොට සියවස් ගණනාවක් සැඟවී තිබූ මෙම පුදබිම යළි ලෝක බෞද්ධ ජනතාවට උරුම කර දුන්නේය. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත්ව උපසම්පදාව ලැබුවේ සහ අපවත් වූයේද සාරනාත් පුදබිමේය.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ කෘතඥතාව
සාරනාත් පුද බිමේ ධම්මික ස්තූපය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැප වී කටයුතු කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජයට සහ යුනෙස්කෝ මහලේකම් Khaled El-Enany මහතාට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාව පුද කරන බව, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසා සිටිති.
