ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ඉලක්කය වෙනුවෙන් උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කෙරේ!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
වෙලින්ටන්, නවසීලන්තය — 2026 අගෝස්තු 01 — ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින් 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර ඇති උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම සහ ඒ පිළිබඳ කර්මාන්ත ක්ෂේත්‍රයේ එකඟතාව ගොඩනැගීම සඳහා සංවිධානය කළ “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව සාර්ථකව පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka විසින් ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
වැඩමුළුවේ ප්‍රධාන විශේෂාංග
- ප්‍රධාන දේශන: ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ප්‍රධාන ක්ෂේත්‍ර නිලධාරී වික්ටර් ඇන්ටනිපිල්ලෙයි යන මහත්වරුන් විසින් මෙහි සමාරම්භක දේශන සිදු කරන ලදී.
- මාර්ග සිතියම ඉදිරිපත් කිරීම: ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය යටතේ KPMG ආයතනයේ දේශීය හා ජාත්‍යන්තර උපදේශකයන් විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳ තක්සේරු වාර්තාව සහ යෝජිත උපායමාර්ගික මාර්ග සිතියම මෙහිදී ඉදිරිපත් කෙරිණි.
- තේමාත්මක සාකච්ඡා: මානව සම්පත් හා අනාගතයට ගැළපෙන කුසලතා සංවර්ධනය, නවෝත්පාදන සහ ස්වාධීන වෘත්තිකයන් සවිබල ගැන්වීම, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය, අපනයන වර්ධනය මෙන්ම තිරසර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර කේන්ද්‍ර කරගනිමින් සාකච්ඡා සැසි පැවැත්විණි.
කෘත්‍රිම බුද්ධිය (AI) හේතුවෙන් කර්මාන්තයේ ව්‍යාපාරික ආකෘති සහ රැකියා භූමිකාවන්හි සිදුවන වෙනස්කම්, බුද්ධිමය දේපළ හා ඩිජිටල් නිෂ්පාදන මත පදනම් වූ ඉහළ වටිනාකමක් සහිත අපනයන වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
