අමාත්‍ය වසන්ත සමරසිංහ හොං කොං හි පැවැත්වෙන ‘Belt and Road Summit 2026’ රාජ්‍යතාන්ත්‍රික හා වාණිජ සම්මේලනයට සහභාගී වෙයි!
හොං කොං හි සංවර්ධන මණ්ඩලය (HKTDC) සහ හොං කොං විශේෂ පරිපාලන කලාපයේ රජය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන 11 වන “Belt and Road Summit 2026” රාජ්‍යතාන්ත්‍රික හා වාණිජ සම්මේලනය හොං කොං හි Convention and Exhibition Centre (HKCEC) හිදී ඉතා උත්කර්ෂවත් අයුරකින් ආරම්භ වී තිබේ. මෙම වැදගත් සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට ගොොස් විශේෂයෙන් එක්වී සිටී. “Advancing High-Quality Development · Embarking on a New Journey” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වසරේ සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ආසියානු සහ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීම්වලට අයත් රටවල් අතර වෙළෙඳ, ආයෝජන, සැපයුම් දාම සබඳතා සහ ආර්ථික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමයි.
මෙම සමුළුවේ ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රික අංශයක් වන “Building Resilient Trade and Investment Frameworks in a Diverse Global Landscape” (විවිධාංගීකෘත ගෝලීය පසුබිමක් තුළ ඔරොත්තු දෙන වෙළෙඳ සහ ආයෝජන රාමු ගොඩනැගීම) නමැති ප්‍රතිපත්තිමය සාකච්ඡා සභාව සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සක්‍රීයව සහභාගී විය. ගෝලීය වශයෙන් මතුවෙමින් පවතින ආර්ථික සහ වෙළෙඳ අභියෝග හමුවේ, කලාපීය සහ ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා වඩාත් ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව කලාපීය නාවික සහ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, දේශීය නිෂ්පාදන සඳහා නව විදේශීය වෙළෙඳපොළවල් විවර කරගැනීම සහ අගය එකතු කළ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය. හොං කොං හි වාණිජ හා ආර්ථික සංවර්ධන ලේකම්වරයා විසින් මෙහෙයවන ලද මෙම ප්‍රතිපත්ති සංවාදය සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, තායිලන්තය, කටාර්, කසකස්ථානය සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල අමාත්‍යවරුන් සහ රාජ්‍ය නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
