ශ්‍රී ලංකා රේගුවේ නව ‘කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය’ පිළිබඳව IMF නියෝජිතයින් දැනුවත් කෙරේ!

image_695c04a13f

ශ්‍රී ලංකා රේගුව විසින් එළඹෙන ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” (Paperless Customs Declaration System) පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම නවීන ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය, ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ ඒකකය විසින් IMF නියෝජිතයින් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශය ඒකාබද්ධව මෙම ක්‍රියාවලිය වෙනුවෙන් ලබා දෙන දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ඉහළ ඇගයීමට ලක් වූ අතර, මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනය යාම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමටද ඔවුන් එකඟතාව පළ කළහ.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ඩිනාර් ප්‍රිහාර්ඩිනි (Dinar Prihardini) මහත්මිය සහ ක්ලකොව් අකෙපන්නිඩ්ටවෝර්න් (Klakow Akepannidtaworn) මහතා ද සහභාගී වී සිටියහ.

You may have missed