ශ්‍රී ලංකාවේ 2009 සිට 2016 දක්වා කාලය තුළ ගල්අඟුරු මිලදී ගැනීමේදී රුපියල් කෝටි 414ක පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි!
ශ්‍රී ලංකාවේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016 දක්වා වසර හතක කාලය තුළ ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ විශේෂ ඉල්ලීමක් මත 2009 සිට 2016 වසර දක්වා කාලය තුළ ලංකා ගල්අඟුරු සමාගම සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මෙම විශේෂ විගණන වාර්තාව සකස් කර ඇත. මෙම කෝටි 414ක පාඩුවට අලාභ, ආදායම් අහිමිවීම් සහ විවිධ අතිරේක වියදම් ඇතුළත් වන බව එම වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ.
ගල්අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බලාගාරය අඩු ධාාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා විශාල අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම අමතර වියදම රුපියල් කෝටි 1,250ක් ලෙස ගණනය කර තිබූ අතර, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ගණනය කිරීම්වලට අනුව එය රුපියල් කෝටි 98කි. ප්‍රසම්පාදනයේදී අවම පිරිවැයකින් උපරිම ආර්ථික වාසියක් ලබා ගැනීම, ගුණාත්මකභාවය සහ කාලෝචිතභාවය තහවුරු කිරීම මෙන්ම විනිවිදභාවය ආරක්ෂා කිරීම යන මූලික අරමුණු අදාළ ප්‍රසම්පාදනවලදී සපුරා නොමැති බව විගණකාධිපතිවරයා නිගමනය කර ඇත. මීට අමතරව, ගිවිසුම්ගත පරිදි ගල්අඟුරු ප්‍රමාණය සහ ගුණාත්මකභාවය නොමැති වීම නිසා ලිබර්ටි කොමෝඩිටීස් සමාගමෙන් අය කරගත යුතු මිලියන ගණනක ඩොලර් දඩ මුදල් නිසි පරිදි අය කර ගැනීමට නොහැකි වී ඇති බවද හෙළි වී තිබේ.
