නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයෙන් පිටුවහල් කිරීමට රටවල් 5ක් එක්වෙයි!
කොපන්හේගන්, ඩෙන්මාර්කය —
යුරෝපා සංගමයට අයත් රටවල නීත්‍යානුකූල පදිංචි බලපත්‍ර නොමැතිව රැඳී සිටින සංක්‍රමණිකයන් එම සංගමයට අයත් නොවන වෙනත් රටවල් වෙත පිටුවහල් කිරීමේ අරමුණින් ජර්මනිය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය යන රටවල නියෝජිතයන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ‘Group of Five’ හෙවත් පස් මණ්ඩලයේ රටවල් ලෙස එකතු වී මෙම සාකච්ඡාව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පවත්වා ඇති අතර, සංක්‍රමණිකයන් ආපසු යැවීමේ මධ්‍යස්ථාන (Return Hubs) යුරෝපා සංගමයට හිටුවීම සඳහා තෙවැනි පාර්ශ්වීය රටක් සමඟ මේ වසරේදීම ගිවිසුමකට එළඹීමට මෙහිදී තීරණය කර ඇත.
යුරෝපා සංගමයේ නව සංක්‍රමණ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට යුරෝපා පාර්ලිමේන්තුවේද අනුමැතිය හිමි වී ඇති පසුබිමක, මෙම ක්‍රියාවලිය හරහා නීතිවිරෝධී සංක්‍රමණය අවම කිරීමට සහ ජාවාරම්කරුවන්ගේ ජාලයන් බිඳ දැමීමට අපේක්ෂා කෙරේ. මෙම මධ්‍යස්ථාන සඳහා සත්කාරකත්වය සපයන රටවල් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, 2027 වසර අවසන් වන විට පළමු සංක්‍රමණිකයන් පිරිස අදාළ මධ්‍යස්ථාන වෙත යැවීමට ඩෙන්මාර්කය ඇතුළු රටවල් අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, මෙම පියවරයන් හරහා සරණාගතභාවය පතන්නන්ගේ මූලික අයිතිවාසිකම් සහ ආරක්ෂාව පළුදු විය හැකි බවට මානව හිමිකම් සංවිධාන සහ විවේචකයෝ දැඩි අවධානයක් යොමු කර තිබේ. අදාළ නියෝජිත පිරිසගේ මීළඟ සාකච්ඡාමය හමුව මේ මස අගදී ජර්මනියේ මියුනිච් නුවරදී පැවැත්වීමට නියමිතය.
