වසරකදී ළමුන් මිලියන 20ක් අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජනයට — යුනිසෙෆ් (UNICEF) වාර්තාවකින් අනාවරණ වෙයි!

an-age-by-age-guide-for-when-your-kid-should-get-a-smartphone

කොළඹ, ශ්‍රී ලංකා —

රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් හරහා විවිධ ආකාරයේ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නව වාර්තාවකින් අනාවරණය කර තිබේ.

අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු ප්‍රදේශවල වයස අවුරුදු 12ත් 17ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ අවම වශයෙන් එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. එහිදී ළමුන් මිලියන 15කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, මිලියන 9කට වැඩි පිරිසක් ලිංගික සංවාදවලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමට බලපෑම්වලට ලක්ව ඇත. තවත් ළමුන් මිලියන 4කගේ පමණ ලිංගික ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව අන්තර්ජාලයේ බෙදාහැර ඇති බවද හෙළි වී තිබේ.

සමාජ මාධ්‍යවල බලපෑම සහ කෘත්‍රිම බුද්ධියේ (AI) උවදුර

මෙම සිදුවීම්වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුව ඇති අතර, අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ අපයෝජන ප්‍රතිශතය සියයට 14කි. විශේෂත්වය වන්නේ මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී තිබීමයි. තවද, දත්ත එක්රැස් කළ රටවල් 9කදී ළමුන් මිලියන 1.1ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ ලිංගික ඡායාරූප හෝ වීඩියෝවලට මුහුණ දී ඇති බව වාර්තා වේ.

තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් අනෙක් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් වැඩි බව යුනිසෙෆ් පෙන්වා දෙයි. එහෙත්, මෙම සිදුවීම්වලින් සියයට 1කටත් අඩු ප්‍රමාණයක් පොලීසියට හෝ උපකාරක සේවාවකට වාර්තා වී ඇති බැවින්, ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීමට සහ නීති යාවත්කාලීන කිරීමට රජයන් සහ තාක්ෂණික සමාගම් වහාම පියවර ගත යුතු බව යුනිසෙෆ් අවධාරණය කරයි.

You may have missed