වසර තුනක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ඇරඹීමට “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන එළිදකියි!
කොළඹ, ශ්‍රී ලංකා —
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්වගා කිරීමේ මණ්ඩලයේ මහායාය වතු පරිශ්‍රයේදී අද දින ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙරට තැඹිලි වගාව පුළුල් කරමින් නිෂ්පාදන හා ඵලදායීතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමත් මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
ව්‍යාපෘතියේ සැලසුම් සහ අපනයන ඉලක්ක
මෙම වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව 2026 වසරේදී ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් ලෙස ක්‍රියාත්මක වේ. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නංවා ගැනීමටත්, තැඹිලි හා ඒ ආශ්රිත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි අගයකින් වර්ධනය කර ගැනීමටත් මෙයින් අපේක්ෂා කෙරේ.
තැඹිලි ගොවීන් දිරිගැන්වීම සඳහා පවතින ගස් පුනරුත්ථාපනයට එක් ගසකට රු. 700ක මූල්‍ය සහනාධාරයක් ලබාදෙන අතර, රු. 750ක් වටිනා නව තැඹිලි පැළයක් ගොවීන් වෙත ලබාදෙන්නේ රු. 150ක සහනදායී මිලකටය. මොනරාගල, මාතර, කුරුණෑගල, ගම්පහ, කළුතර, රත්නපුර, හම්බන්තොට, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා පවුල් ඒකක 21,250ක ජීවන තත්ත්වය නංවාලමින් නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වනු ඇත.
