ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට අමිල මෙහෙවරක් කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
කොළඹ, ශ්‍රී ලංකා — 2026 අගෝස්තු 19 —
ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වී තිබේ. අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇති අතර, උන්වහන්සේගේ වියෝව මෙරට කලා ක්ෂේත්රයට සහ බෞද්ධ සමාජයට පූර්රණීය පාඩුවකි.
උන්වහන්සේගේ දිවිපෙවෙත සහ මෙහෙවර
- උපත් හා පැවිදි දිවිය: 1950 වසරේ මැයි 22 වැනිදා දෙණියාය රඹුකන ප්‍රදේශයේදී උපත ලද උන්වහන්සේගේ ගිහි නම ආනන්ද ලියනගේ විය. 1963 වසරේ ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී පැවිදි බිමට අවතීර්ණ වූ උන්වහන්සේ, 1972 වසරේදී මහනුවර මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදා ලැබූහ.
- අධ්‍යාපනික පසුබිම: මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, ගාල්ල හෙට්ඨාචල පිරිවෙනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ද ලබා ඇත.
- ගීත සාහිත්‍යයට කළ දායකත්වය: බෞද්ධ සංස්කෘතිය ආශ්රිත ගීත මෙන්ම මෙරට සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ රචනා කර ඇත. ‘ලා දළු බෝපත්’, ‘මේ ඉර හඳ යට’, ‘සඳ තරු මල්’, ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති’, ‘සෙනෙහස පුදා’, ‘බුදු බණ ඇසුවා’, ‘මේ ප්‍රේම කතා’, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්නේ’, ‘වෙහෙරක් වගේ’, ‘පන්සලේ පල්ලියේ’ සහ ‘සියක් ආයු ලැබ’ ඒ අතර ප්රමුඛ වේ.
- සම්මාන හා කෘති: ‘සඳකඩපහණ’ චිත්‍රපටයේ ‘පෙර සංසාරේ’ ගීතය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ද, ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ ‘සැඩ පහරක් සේ එකමුතු වූ දා’ ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානයෙන් ද උන්වහන්සේ පිදුම් ලබා ඇත. එෙන්ම ‘සංසාරේ අපි’, ‘ගම්මානේ අපි’, ‘සමනල කන්ද’, ‘සංසාර චාරිකා’ වැනි කැසට් පට සහ ‘සසර දනව්ව’ ගේය පද සංග්‍රහය ද උන්වහන්සේගේ නිර්මාණ අතර වේ.
