ඕක්ලන්ඩ් ප්‍රාදේශීය උද්‍යාන පහකට පැරණි මාඕරි නම් යළි හිමිවේ

images-1

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – සංස්කෘතික විශේෂ වාර්තාව

2026 ජූනි 29 (ඕක්ලන්ඩ්, නිව්සීලන්තය) — ඕක්ලන්ඩ් නගරයේ ප්‍රාදේශීය උද්‍යාන පහක් සඳහා ඒවායේ මුල් මාඕරි නම් සහ ඓතිහාසික පසුබිම් කතා (Narratives) යළි ස්ථාපිත කිරීමට ඕක්ලන්ඩ් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම පියවර ගනු ලැබුවේ ‘ටේ කෙටේ රුකුරුකු’ (Te Kete Rukuruku) වැඩසටහනේ කොටසක් ලෙස, ‘මානා වෙහෙනුවා’ (Mana whenua – අදාළ භූමියේ අයිතිකරුවන්) සමඟ එක්ව සිදුකළ දීර්ඝකාලීන පර්යේෂණ සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

නම වෙනස් වූ සහ නම් යළි ස්ථාපිත වූ උද්‍යාන:

  1. ලෝන්ග් බේ (Long Bay): ටේ ඕනෙරෝවා ඕ කාහු (Te Oneroa ō Kahu)
  2. ෂේක්ස්පියර් (Shakespear): ටේ හා රුහි (Te Hāruhi)
  3. වෙන්ඩර්හෝම් (Wenderholm): මවුන්ගටාහෝරෝ (Maungatauhoro)
  4. ඇම්බරි (Ambury): ටේ ආර ඉ ටවුටාහි (Te Ara i Tautahi)
  5. ඕමානා (Ōmana): ඕ මනාවටෙරේ (Ō Manawatere)

මෙම උද්‍යාන සඳහා දැනට පවතින ඉංග්‍රීසි නම් සමඟ නව මාඕරි නම් ද භාවිතා කෙරෙනු ඇත. ඕක්ලන්ඩ් කවුන්සිලයේ කමිටු සභාපතිනි ජූලි ෆෙයාර් මහත්මිය පවසන්නේ, මෙම නම් සැබවින්ම බලසම්පන්න බවත්, ඒවා සංස්කෘතික දැනුම ආරක්ෂා කිරීමට සහ ටමාකි මකෞරාඋ (Tāmaki Makaurau) සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උපකාරී වන බවත්ය.

වැඩසටහනේ අරමුණ: 2017 වසරේ ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ මේ වන විට ඕක්ලන්ඩ් පුරා පිහිටි දේශීය උද්‍යාන සහ පොදු ස්ථාන 580කට අධික ප්‍රමාණයකට මාඕරි නම් ලබා දී ඇත. මෙම නම් මගින් එම භූමිය හා බැඳුණු මාඕරි උරුමය, පාරම්පරික දැනුම සහ ඉතිහාසය වර්තමාන පරපුරට සහ සංචාරකයින්ට හඳුන්වා දීම ප්‍රධාන අරමුණයි.

ටේ කවෙරාඋ ඉවි ටියාකි ට්‍රස්ට් (Te Kawerau Iwi Tiaki Trust) සංවිධානයේ රොබින් ටුවා-ගෝර්ඩන් මහතා පවසන පරිදි, මෙම නම් සැමවිටම එම භූමියට පැවති නමුත්, මෙම වැඩසටහන හරහා එම පාරම්පරික දැනුම ප්‍රජාව සමඟ බෙදා ගැනීමට අවස්ථාවක් ලැබීම සතුටට කරුණකි.