ශ්‍රී ලංකාවේදී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක් එල්ල කරයි!
ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් බෝම්බ භාවිත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, වසරේ මේ දක්වා කාලය තුළ එවැනි බෝම්බ ප්‍රහාර 6ක් සිදුව තිබේ. ඉන් ප්‍රහාර තුනක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ සිදුව තිබීම විශේෂත්වයකි. යුද සමයේදී එල්ටීටීඊ සංවිධානයෙන් ලබාගත් බවට සැක කෙරෙන බෝම්බ මෙම අපරාධකරුවන් විසින් භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉදිරියේදී අපරාධ මර්දන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවද සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමුව ඇත.
මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමින්, දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දරුවන් දෙදෙනාය. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි ඔවුන්ගේ පියා වන නලින් තුසන්ත පෙරේරා රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ පියාට එරෙහිව කිසිදු අපරාධ ඉතිහාසයක් හෝ චෝදනාවක් නොමැති බව පොලිසිය තහවුරු කර ඇත.
අලුයම 3ට පමණ නාඳුනන පුද්ගලයෙකු අදාළ නිවසට පැමිණ දොරට තට්ටු කර ඇති අතර, නිවැසියන් දොර විවෘත කිරීමත් සමඟම නිවස තුළට බෝම්බය විසි කර ඇත. කෙසේ වෙතත්, අසල්වැසි නිවසේ වාසය කරන ඔවුන්ගේ ඥාතීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා පවතින බවත්, ඔවුන් විදෙස්ගතව සැඟව සිටින ‘බඩෝවිට අසංක’ නම් අපරාධකරුගේ සමීපතමයන් වන බවත් පොලිසිය හෙළි කර ගෙන තිබේ. පෙරේදා කළුබෝවිල පිහිටි නිවසකට මෙම පාර්ශ්වය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරෙන අතර, නිවස මාරු වීම හේතුවෙන් මෙම අහිංසක දරුවන් දෙදෙනාට ජීවිතක්ෂයට පත්වීමට සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මඟින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රහාරය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය පහළ බෝපේ ප්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
