විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්න – ජනාධිපති අනුර කුමාර දිසානායක

anura-kumara-dissanayake-6

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

2026 ජූලි 17 — විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් විසඳා, එය ඉදිරි අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් සඳහා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

සාකච්ඡාවේ ප්‍රධාන කරුණු

  • විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය: රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
  • සංචාරක සංවර්ධන ව්‍යාපෘති: සංචාරක ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ ඇති මුදල් සංචිතවලට සෘජුවම යොමු කිරීමට උපදෙස් දෙන ලදී.
  • සම්පත් කළමනාකරණය: සීගිරිය, ගලේවල සහ ත්‍රිකුණාමලය වැනි සංචාරක කේන්ද්‍රස්ථාන සංවර්ධනයේදී ආයතන එකිනෙක සම්බන්ධ වෙමින් පොදු සැලැස්මක් යටතේ කටයුතු කිරීමෙන් කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැකි බව පෙන්වා දෙන ලදී.
  • ප්‍රසම්පාදන ක්‍රියාවලිය: රජයේ ව්‍යාපෘතිවල පවතින ප්‍රසම්පාදන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා 2027 ජනවාරි මස මුල් සතියේ සිටම ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ හැකි නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
  • මානව සම්පත් සංවර්ධනය: 2030 වසර වන විට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය ලක්ෂ 8ක මානව සම්පත පුහුණු කිරීම සඳහා හෝටල් පාසල්වල පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට සාකච්ඡා විය.

එසේම, අමාත්‍යාංශය යටතේ පවතින ඉඩම් සහ සම්පත් පිළිබඳ නිවැරදි දත්ත වාර්තාවක් නොමැති වීම පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා, එම වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් දුන්නේය.

You may have missed