ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ රුපියල් මිලියන 5,800ක බදු හිඟය වහාම ගෙවීමට අධිකරණයෙන් නියෝග

wm-mendis

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 27 (කොළඹ, ශ්‍රී ලංකාව) — රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 5,800ක වැට් (VAT) බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට ඊයේ (26) නියෝග කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. විත්තිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ හිඟ බදු මුදල්වලින් කොටසක් දැනටමත් ගෙවා ඇති බවත්, සමාගමේ දේපළ තහනමට ලක්වීම සහ බැංකුවලට සින්නවීම හේතුවෙන් අදාළ ගෙවීම් කළ බවට වූ ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇති බවත්ය.

කෙසේ වෙතත්, දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ලේඛන සොයාගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවයි. බදු ගෙවිය යුතු කාලසීමාව දැනටමත් ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් සහන සැලසීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ බදු මුදල් ප්‍රමාදයකින් තොරව ගෙවා අවසන් කරන ලෙස නියෝග කළේය. එමෙන්ම, බදු මුදල් ගෙවන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී ස්ථිර වශයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසට විත්තිකරුවන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව සැප්තැම්බර් 30 වනදා දක්වා කල් තැබීය.