සංවිධානාත්මක අපරාධකරුවෙකුට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසූ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට

Screenshot 2026-06-27 at 11.40.04 AM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 27 (කොළඹ, ශ්‍රී ලංකාව) — සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නාමයකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අද (26) පස්වරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු වයස අවුරුදු 41ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ කාලසීමාව තුළ මෙම අපරාධය සිදුකර ඇති බවයි.

අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.